පොඩි ලැසීගේ ජීවිතාරක්ෂාවත් අධිකරණයෙන් තහවුරු කෙරේ



බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන ජනිත් මධුසංඛ හෙවත් "පොඩි ලැසී නමැත්තාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරිමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට 20 දා දැනුම් දුන්නේය. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින තමාගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා පොඩි ලැසී නමැත්තා ගොනු කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්  ජනරාල් දිලීප පීරිස් මහතා ඒ බව දැනුම් දුන්නේය.


සෝහිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ එම පෙත්සම කැඳවනු ලැබිණි. එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ බන්ධනාගාරගත කර සිටි අපරාධකරුවන් බව කියන දෙදෙනකු පිටතට ගෙන ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධිවලදී පොලිස් වෙඩි පහරින් ඔවුන් මියගිය බව පසුගිය දා වාර්තතා වූ බවය. පෙත්සම්කරුට ද එම ඉරණම අත්වනු ඇතැයි සැක පවතින බව ද පෙත්සම්කාර නීතිඥවරයා අධිකරණය හමුවේ කීය. එබැවින් ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙන නොයන ලෙසත්, ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා ඇත.



එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කරු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවය. ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරින් කිහිපදෙනකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ද පෙක්සම්කරුට එරෙහිව චෝදනා ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේය.එබැවින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගැනීමට අවශ්‍ය බව ද නියෝජ්‍ය සොලිසිටර්න් ජනරාල්වරයා අධිකරණය හමුවේ කීර්වේය. කෙසේ වුව ද පෙත්සම්කරුගේ ජීවිතාරක්ෂක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම්  දීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විනිසුරු මඬුල්ල හමුවේ පැවැසීය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ජුනි 16 වැනිදා සිදු කිරිමට නියම කළේය. බූස්ස බන්ධනාගාරය තුළදී තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් තමාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර නිලධාරීන්ට  නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා  පෙත්සම්කාර ජනිත් මධුසංඛ හෙවත් 'පොඩි ලැසී” නමැත්තා නීතිඥවරයකු මාර්ගයෙන් මෙම පෙත්සම ගොනුකර ඇත.

Source - https://www.gossiplankanews.com/2021/05/podi-lassy-court.html

Previous Post Next Post